Saturday, May 10, 2014

ජාතික (බෝල) ක්‍රීඩාව

මා කුඩා කල සිතා සිටියේ අපේ රටේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් කියාය. ඒ තරමටම ඒ කාලයේ ක්‍රිකට් අපේ ජීවිත වලට සමීප වී තිබුණේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය අප කුඩා කාලයේ සුන්දර මතකයක් වූ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් පාසලේදී අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් බව දැනගැනීමත් සමග මා හට දැනුණේ තරමක අමුත්තකි. එකල (මෙන්ම අදටත්) අප රට තුළ එතරම් තැනක් ඇති ක්‍රීඩාවක් ලෙස වොලිබෝල් මා නම් දැක නැති වීම එයට හේතුව විය යුතුය. ඊට අමතරව වොලිබෝල් අප රටේ බිහි වූ ක්‍රීඩාවකුත් නොවේ. ඒ තර්කය අනුව මා සිතා ගත්තේ අඩුම තරමින් ජාතික ක්‍රීඩාව ලෙස එල්ලේ ක්‍රීඩාව නම් කළා නම් ඊට වඩා ගැළපෙන බවය.
අපේ වොලිබෝල්...
ඒත් දැන් නම් වොලිබෝල් තරම් අපේ රටේ ජාතික ක්‍රීඩාව බවට පත්වන්නට වෙන කිසිදු ක්‍රීඩාවකට සුදුසුකමක් නැති බව මට මැනවින් වැටහී තිබේ. එය එසේ වන්නේ ක්‍රීඩාව කරන ආකාරය දෙස බැලීමේදීය. උදාහරණයක් ලෙස පාපන්දු, පැසිපන්දු වැනි ක්‍රීඩාවක් ගත් විට ක්‍රීඩකයන් හැම විටම උත්සාහ ගන්නේ බෝලය තමන් වෙත ලබා ගැනීමටය; නැතහොත් ලබා ගත් බෝලය ළඟ තබා ගැනීමටය. අප අතර ඉතාම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේදී පවා පන්දු රකින්නන් බෝලය පසුපස හඹා ගොස් හෝ අල්ලාගන්නේත් ගුවනේ පා වී ගොස් හෝ රැකගන්නේත් බෝලය කොතරම් වටින නිසාද?
මෙච්චර වටින බෝලයක් කොහොම හරි අල්ලගන්න එපැයි...
ඒත් වොලිබෝල් ක්‍රීඩාවේ බෝලය ලැබුණු සැණින් කරන්නේ අනිත් පැත්තට විසි කිරීමය. ඒ විසි කරන එකත් අනිත් පැත්තේ කොටුව ඇතුළේ මිස පිටට නොවැටෙන්නට විසි කිරීමට වග බලා ගත යුතුය. තමන්ගේ පිලට බෝලය ලැබුණු විට නියමිත වාර ගණනක් ඇතුළතදී අනිත් පැත්තට විසි කළ යුත්තේ හරියට පින් එක ගැලවූ අත් බෝම්බයක් වගේය. කොටින්ම වොලිබෝල් ක්‍රීඩාවේ මුඛ්‍ය පරමාර්ථය බෝලය අනිත් පිල වෙත යැවීමය. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝලෙ පාස් කිරීමය. ඉතින් අපේ රටට ඊටත් වඩා ගැළපෙන ජාතික ක්‍රීඩාවක් තවත් තිබේද? අපේ රටේ ඔෆීස් වල, ප්‍රොජෙක්ට් වල මෙකී නොකී තැන්වල හරි හරියට බෝලෙ පාස් කරන්නට සමත්කම් පාන දක්ෂ නිලධාරීන් බිහි වී ඇත්තේ වොලිබෝල් ජාතික ක්‍රීඩාව වූ නිසාම නොවේද?
මේ අර බෝලෙට මොකද කරේ... ඒ බෝලෙ මගෙ නෙවෙයිනෙ... මොකද නැත්තෙ ඒක ඔයාගෙ තමයි...
ඒ මට හිතෙන හැටිය.

10 comments:

  1. පට්ට කතාවනෙ.. ඉල ඇදෙනවා හිනාවෙලාම.. එහෙනම් ගොඩාක් ඔෆිස්වල තත්වෙ මේකයි..

    ReplyDelete
    Replies
    1. ඔව්... මගේ කෙටි කාලීන අත්දැකීමෙන් නම් ගොඩක් තැන්වල එහෙම තමයි...

      Delete
    2. කෙටියි
      ඒත් පරිපූර්ණයයි.
      ඔබටම ආවේනික සියුම්ම සියුම් උපහාසාත්මක ලිවීමේ ශෛලීය හරිම අගෙයි..
      හදවතින්ම සුබ පතනවා ඔබේ හැකියාවට

      Delete
    3. බොහොම ස්තූතියි ප්‍රසාද්.
      මගෙ බ්ලොග් එකට ලැබුණ වටිනාම සහ මම ගොඩක්ම සතුටට පත් වුණ කමෙන්ටුවක්.
      අනිත් පෝස්ටුත් කියවමු ඉන්න ගමන්.
      සත්කුළු පව්ව කියවන්නත් මම බලන් ඉන්නව ඔන්න :)

      Delete
  2. බෝලේ පාස් කිරිල්ල මේ තරම් හොදට කෙරෙන්නේ වොලිබෝල් අපේ ජාතික ක්‍රීඩාව හන්දයි එතකොට. ඔන්න අද තමා හේතුව දැනගත්තේ හරියටම.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒකත් සෑහෙන දුරට බලපාල තියෙනව :P

      Delete
  3. Replies
    1. ඔහොම පාස් කරන්න ගියොත් ඉතින් තියෙන බෝලත් නැති වෙලා තමයි නවතින්නෙ...

      Delete
  4. Replies
    1. තැන්කියු තැන්කියු :D

      Delete