Thursday, June 12, 2014

එකෙක් හංසයෙක් - අනිත් උන් තාරාවො

ළඟදි දවසක දෙයිය දෙහිවල සත්තු වත්ත බලන්න ගියානෙ වෙන්ට-නෝනත් එක්ක. "සත්තු වත්ත" කිව්වට හරිම වචනෙ "සතුන් වත්ත" ලු. කොහොම හරි ඉතින් එතනදි දැක්ක දෙයක් ගැන තමයි අද කතාව.

සතුන් වත්තෙ එක් තැනක තියෙන පොකුණක් ළඟ "සුදු හංසයා" කියල බෝඩ් එකක් ගහල තියෙනව. අනිත් ගොඩක් කූඩු වල වගේම මෙතනත් ඉන්නෙ එක සතයි. තමන්ගෙ ස්වාභාවික පරිසරයෙන් ඈත් කරල කූඩු වල දාල ඉන්න සතුන්ට අඩුම ගානෙ තමන්ගෙ ජාතියෙ තව එක සතෙක් හරි හිටිය නම් තනිකම පාලුව වත් නැති වෙයි කියල හිතුණ. ඒ වගේම ඉස්සර නම් ගොඩක් සතුන් ‍ජෝඩු වශයෙන් හිටියත් අද වෙන කොට ගොඩක් උන්ට තනි වෙන්න වෙලා තියෙන්නෙ පහුගිය කාලෙම දිගටම සතුන් ගොඩක් මැරුණ නිසා කියලත් කතාවක් තියෙනව. කොහොම වුණත් අර පොකුණෙ තනියම පීන පීන ඉන්න හංසයව දැක්කම නම් ගොඩක්ම දුක හිතුණ.
තනි හංසයා... ගත්තෙ මෙතනින්...
ඒත් ඇත්තටම හංසය ඒ පොකුණෙ ඉන්නෙ තනියමමත් නෙවෙයි. උගෙ තනියටද මන්ද තාරාවො රංචුවක්ම දාල ඉන්නව ඒ පොකුණට. ඒ වුණාට ඉතින් තමන්ට වඩා වෙනස් පිරිසක් මැද තනියම ඉන්න වෙන එක මොකෙක්වත් නැතුව ඉන්නවටත් වැඩිය දරුණුයිද මන්ද. අපටත් සමාජයේ ඉන්න කොට ඔය වගේ අත්දැකීම් ලැබිල තියෙනවනෙ.
හංස විලේ තාරාවෝ... ගත්තෙ මෙතනින්...
ඔන්න ඉතින් අපි බලන් ඉන්න කොට එතන වැඩ කරන කෙනෙක් ආව උන්ට කෑම දෙන්න. හංසය ඉන්න තැනින් එක බේසමක් තියල අර තාරාවො රංචුවටම එච්චර විතර තව බේසමක් තියල ගියා. ඒකෙ තිබුණෙ මොනවද කියල ළඟටම දැක්කෙ නැති වුණත් පාන් වගේ මොනව හරි කෑලි කෑලි මොනව හරි දියරයක දාල තමයි තිබුණෙ. වතුරද මන්ද.

කෑම තිබ්බට පස්සෙ තමයි දැක්කෙ අර රංචුවෙන් වෙන් වෙලා තනියම ඉන්න එක තාරාවෙක් ඉන්නව. මොකක් හරි හේතුවක් ඇති ඒකට. උෟ අර රංචුවට දීපු කෑම එක ගාවට යන්නෙ නෑ. ඌ කරන්නෙ අර හංසයට දීපු කෑම එකට ළං වෙලා ඒකෙන් කන එක. ඉතින් හංසය පැත්තකින් හොට දානව තාරාව තව පැත්තකින් හොට දානව. ටිකකින් තාරාව හංසයට කොටනව. එතකොට හංසය ඈත් වෙලා ටිකකින් ආයෙ හොට දානව. ආයෙ ටිකකින් අරූ කොටනව. ඔහොම දෙතුන් පාරක් වෙන කොට හංසය එතනින් ඈත් වෙලා වෙන පැත්තකට පීනල යනව. ඒත් බඩගින්න නිසා ටිකකින් ආයෙ එනව. ආයෙ ඔය රවුම යනව ඉතින්. මට නම් තරහයි දුකයි දෙකම අරූ කොටන එකටයි හංසය එතනින් ඈත් වෙලා යන එකටයි.

ටිකකින් ඒ තාරාව එතනින් අයින් වෙලා ගියා. ඇති යාන්තම් දැන්වත් හංසයට කන්න පුලුවන්නෙ නිදහසේ. මොන පිස්සුද. මෙන්න ඒ තාරාව ගියා විතරයි අතන එක බේසමේ කකා හිටපු තාරාවො තුන් දෙනෙක්ම පෝලිමට එනව හංසයගෙ බේසමට. උනුත් එකා දෙන්න ළං වෙලා ඒකෙන් කනව. හිටි ගමන් හංසයට කොටනව. එතකොට ඌ ඈත් වෙලා යනව. ආයෙ එනව. ආයෙත් මට තරහ යනව. දුක හිතෙනව.

ඔය ඔක්කොම අස්සෙ වටේ පිටේ ඉන්න කාක්කො ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව සැරින් සැරේ ඇවිත් අර බේසමෙන් කෑම කෑලි උස්සන් යනව. උන්ගෙත් ලොකු රංචුවක්. උන් කෑලි උස්සන් ගියාම අරුන්ට වතුර විතරයි ඉතුරු වෙන්නෙ බේසමේ.

අපි කෑම කෑවෙත් එතන එහා පැත්තෙ වාඩි වෙලා මේක දිහා බලාගෙන. ඒක බලන් ඉඳල වෙන්ට-නෝනගෙන් බේරිල්ලක් නෑ මට.

"අනේ පව් අර හංසය"
"උට කන්ඩම දෙන්නෑනෙ මුන්"
"මුන්ට පිස්සුද මන්ද කන්ඩ දෙන්න තේරෙන්නෙ නෑනෙ සත්තුන්ට" 
"අනේ අර තාරාවොන්ට දෙකක් දෙන්ඩ ඕනි අර හංසයට කොටනවට"

ඉතින් දෙයියනේ මං මොනව කරන්නද. අන්තිමට හංසයට විතරක් තනියම බේසම ඉතුරු කරල අනිත් උන් ගිහින්. ඌ පුදුම බඩගින්නකින් බේසමට හොට ඔබාගෙන කාගෙන කාගෙන යනව. ඒ වුණාට කෑම නෑ එතකොට වතුර තමයි ඉතුරු.

මම එදා ගෙදර ඇවිල්ලත් කල්පනා කරේ අපේ සමාජයෙත් කොච්චර මේ වගේ දේවල් වෙනවද කියල.

අපරාදෙ ෆොටෝ එකක් ගන්න බැරි වුණානෙ මේකෙ දාන්න.

4 comments:

  1. හැම දේකම සැලසුම් නැතිකම අපේ චර්යාවක් බවට පත්වෙලා මචෝ. වෙන්ඩ නෝනට කියපන් ඕවට දුක් නොවි ඉන්න කියලා.

    ReplyDelete
    Replies
    1. කිසිම සැලසුමක් නෑ තමයි. පව් ඒ සත්තු. දුක් නොවී ඉන්න කිව්වට ඉතින් කාටවත් බෑ දුක් නොවී ඉන්න මේව දැක්කම.

      Delete
  2. සතුන් වත්තටගොඩක් චෝදනා තියෙනව නිසි ලෙස කළමණා කරණයක් නැති කම ගැන..
    ඇත්තම කියනව නං සතුන් වත්ත බල්ලට ගිහින් තිවයන්නෙ

    ReplyDelete
    Replies
    1. බල්ලට ගිහින්, ආයෙ දෙකක් නෑ ඒකෙ නම්. ගොඩක් සතුන් තනියම කූඩු වල ඉන්නව දැක්කම දුක හිතෙනව. ඇතුළෙ වෙන ගොඩක් දේවල් පිටට නොපෙනෙන්න හංගනව මං හිතන්නෙ.

      Delete