Monday, July 28, 2014

ගැමිදිරිය 3 - අහිංසක ආරාධනාවක්

කන්ටැක්ට්ස් වල සේව් කරල නැති එටිසලාට් නම්බර් එකකින් කෝල් එකක්. මොකක් හරි ප්‍රොමෝෂන් එකක්ද දන්නෑනෙ. මාත් ගත්ත.

"හෙලෝ"

"හෙලෝ, ගම්ලත් මහත්තයද"

මළ කෙළියයි. නමත් දන්නවනෙ.

"ඔව්, කවුද මේ"

"මේ ගැමිදිරියෙ ඉංජිනේරු මහත්තය නේද"

කාගෙ හරි බයිටක්ද දන්නෙත් නෑ. විස්තරත් දන්නවනෙ මං ගැන.

"ඔව් ඔව්. කවුද මේ කතා කරන්නෙ"

"මහත්තය අපේ අල්ගොඩ ජල ව්‍යාපෘතිය විවෘත කරන උත්සවේ තියෙනව. ඒකට ආරාධනා කරන්න කතා කරේ. මම අල්ගොඩ සංවිධානයේ සභාපති"

ඒ විස්තරයත් සමග මගේ සිත අතීතයට දිව ගියේ වේගයෙනි.

කලින් කොටස් දෙකකින්ම විස්තර කරපු (1 කොටස, 2 කොටස) ගැමිදිරි‍ය ව්‍යාපෘතියෙ ඉන්න කාලෙ සම්බන්ධ වෙන්න ලැබුණ හොඳම වැඩක් ගමයි මේ අල්ගොඩ ජල ව්‍යාපෘතිය කියන්නෙ. මේ ගමට යන්න නම් දෙහිඕවිට-දැරණියගල පාරෙ ටික දුරක් ගියාම දකුණු පැත්තට තියෙන මහඔය වතුයායට යන පාරෙ යන්න ඕනි. රබර් වතු මැදින් වැටුණු වංගු ගැහුණු පාරක් වෙච්ච මේ පාර නම් මම ගැමිදිරියෙ ඉද්දි ගිහින් තියෙන ගොඩක් පාරවල් වලට වඩා හොඳ පාරක් බව නම් කියන්නම ඕනි.

අල්ගොඩ කිව්වම ඇත්තටම ග්‍රාමීය සංවිධාන දෙකක් තියෙනව. එයින් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වුණ අල්ගොඩ එකමුතු සංවිධානය ගැන තමයි මේ කියන්නෙ. මේ සංවිධානයට වතුයායේ පදිංචි දෙමළ පවුල් වගේම ඒ ආශ්‍රිතව තිබුණු ගම්මානයේ පදිංචි සිංහල පවුලුත් අයත් වුණා. ඒත් කිසිම භේදයකින් තොරව ගැමිදිරිය ව්‍යාපෘතියේ ප්‍රතිලාභ බෙදාගෙන සාර්ථක ගමනක් ගිය ගමක් නිසා ව්‍යාපෘතියේ ප්‍රගතිය බලාගන්න කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් හරි ලෝක බැංකුවෙන් හරි වෙන මොන තැනකින් හරි එන ඕනි කෙනෙකුට කිසිම බයකින් තොරව පෙන්නන්න පුළුවන්කම තිබුණු ගමක් තමයි මේක. ඉතින් මේ කියන ජල ව්‍යාපෘතිය පටන් ගන්න කලින්ම දන්නව ඒක නම් හරියටම හරි යන ප්‍රොජෙක්ට් එකක් කියල. ඒ නිසා මේ කතා කරපු එක්කෙනා ඊළඟට කියපු මේ කතාව නම් බොරුවක් ඔන්න.

"මහත්තය හිටියෙ නැත්නම් අපට මේක කරගන්න හම්බවෙන්නෙ නෑ"

ඔන්න කිව්ව කතාවක්. අනේ මම කළේ ඉතින් මේක පටන්ගන්න අවසර ගන්න වතු අධිකාරී හම්බවෙන්න ගිය එකයි වතුර පාර පටන්ගන්න තැනට දෙපාරක්ම කන්දක් බඩගාපු එකයි මුල්ගල තියන්න ගිය එකයි විතරයි. ඒ නිසා ප්‍රොජෙක්ට් එකේ නියම හිමිකාරයො වෙච්ච චමිලා මිස්, අංජනී මිස් හා රසිකා මිස් මතක් කළේ නැත්නම් ඒක ලොකුම ලොකු අඩුපාඩුවක්.

වතුර පාර පටන්ගන්න තැන ගත්ත මේ පොටෝ එක විතරයි මතක් වෙන්නවත් ඉතුරුවෙලා තියෙන්නෙ...
හැම හොඳ දේකම වගේ මේකෙත් තියෙන්නෙ මේ වගේ කුඩා සරල පිරිසිදු ආරම්භයක්...
"අනේ මම දැන් එතනින් අයින් වෙලත් ගොඩක් කල්නෙ. දැන් මම කොළඹ වැඩ කරන්නෙ. ඒ නිසා මට එන්න වෙන්නෙ නම් නෑ. ව්‍යාපෘතිය සාර්ථකව කරගත්ත කියල අහපු එකත් ලොකු දෙයක් මට"

ඒ ඇරෙන්න ඉතින් මම මොනව කියන්නද ඒ මනුස්සයට. මට උත්සවේට යන්න බැරි වුණත් අනාගතේදි වුණත් දවසක මතක් කරල සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි ඒක. ගැමිදිරියේ සොඳුරු මතකයක් පිළිබඳ සටහන ඒ විදියට නිමා කරනව එහෙනම්.

Sunday, July 13, 2014

කොළොම්තොට - 3 - කොළඹ-කෝට්ටේ-සීතාවක

කියෙව්වෙ නැත්නම් පළමු හා දෙවන කොටස් කියවලම එන්නකො.

කොළඹ ඉතිහාසය ගැන ලිපි දෙකක්ම ලිව්වත් කොළඹ ගැන කතා කරද්දි අත හැරල දාන්නම බැරි අතුරු කතා කීපයක් තියෙනව. ඒ එකිනෙකට කිට්ටු බල කේන්ද්‍රයන් තුනක් වූ කොළඹ-කෝට්ටේ-සීතාවක සම්බන්ධයෙන්. ඉතින් මේ සූදානම ඒ ගැනත් කෙටියෙන් කියල දාන්න.

ලංකාව එක්සේසත් කළ අවසන් රජතුමා ලෙස සැලකෙන්නෙ කෝට්ටේ රාජධානියේ රජ කළ VI පරාක්‍රමබාහු රජතුමායි (1415-1467). මේ කතාව පොඩි කාල‍ෙ ඇහුවම මම කල්පනා කළේ ඊට පස්සෙ කාටවත් ඒක කරන්න බැරි වුණ හේතුව මොකක්ද කියල. ඒත් 1505දී පෘතුගීසීන්ගේ පැමිණීමත් ඊට පස්සෙ ක්‍රමයෙන් සිංහල රාජධානියේ ඇති වූ දුර්වලතා සිය වාසියට හරවා ගනිමින් පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි කියන ජාතීන් තුනක් අවුරුදු 443ක් තරම් දිගු කාලයක් අපේ රට යටත් කරගෙන සිටීමත් කියන කාරණා සලකා බැලුවම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. VI පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව කෝට්ටේ රජකමට පත් වූ රජවරුන් පහත පරිදි දැක්විය හැකියි.
  • VI බුවනෙකබාහු (සපුමල් කුමරු) (1467-1474)
  • VII (පණ්ඩිත) පරාක්‍රමබාහු (1474-1485)
  • VIII (වීර) පරාක්‍රමබාහු (1485-1508)
  • IX (ධර්ම) පරාක්‍රමබාහු (1508-1519)
  • VI විජයබාහු (1519-1521)
මේ කාල වකවානු ගැන විවිධ පරස්පර අදහස් තියෙනවා. කොහොම වුණත් මේ කාලයේ රජ පවුලට විවිධාකාරයෙන් සම්බන්ධකම් තිබූ කුමාරවරුන් අතර ඇති වූ නිරන්තර බල අරගල නිසා එකකු මරා තවෙකකු බලයට පත් වූ වාර බොහොමයි. පෘතුගීසීන් මෙරටට පය තබන්නට පෙර සිටම එවැනි තත්ත්වයක් තිබී ඇති අතර පෘතුගීසීන් ඇතුළු සියලු ආක්‍රමණිකයන් එය තමන්ගේ වාසියට ඉතාම සාර්ථකව යොදාගෙන තිබෙනවා. ඉන්දීය හෝ වෙනත් කලාපීය ජාතීන් මෙන් නොව මෙරට සංස්කෘතියට ආගමට භාෂාවට ජීවන ක්‍රමයට සෑම අතින්ම වෙනස් පසුබිමක් ඇති බටහිර ජාතීන් සියවස් පහකට ආසන්න කාලයක් අපේ රට පාලනය කිරීමට සමත් වුණේ ඔවුන්ගේම දක්ෂතාවයකට පමණක් නොවන බවයි මට නම් සිතෙන්නේ.
කෝට්ටේ නටබුන්... (ගත්තෙ මෙතනින්)
බටහිර ජාතීන්ට නතු වීමෙන් අනතුරුව අවස්ථා ගණනාවකදී රජ පවුල ඇතුළතින් මතු වූ සාධක නිසා සිංහල රාජධානියේ ක්‍රමික බිඳවැටීම් සිදු වූවත් එය සනිටුහන් කරන පළමු අවස්ථාව වන්නේ 1521දී සිදු වූ "විජයබා කොල්ලය"යි. එය සිදු වුණේ මේ ආකාරයෙන්.

1521 වන විට රජ කරමින් සිටි VI විජයබාහු රජතුමාට පළමු බිරිඳගෙන් පුතුන් තිදෙනෙක් සිටියා. ඒ බුවනෙකබාහු, පරරාජසිංහ හා මායාදුන්නේ යනුවෙන්. ඔවුන්ට අමතරව දෙවන බිරිඳගෙන් ලැබුණු පුතා වූ දේවරාජ කුමාරයාට රජකම ලබා දීමට සිය පියා තීරණය කර ඇති බව ආරංචි වූ වැඩිමහල් පුතුන් තිදෙනා, කුලියට ගත් විදේශිකයකු ලව‍ා සිය පියා මැරවූ බවයි සඳහන් වන්නේ. ඒ වන විට පෘතුගීසීන් මෙරට සිටි බැවින් මේ කුමන්ත්‍රණය සඳහා ඔවුන් සහය වන්නට ඇති. ඇතැම් විට පෙර කී විදේශිකයාද පෘතුගීසි ජාතිකයකු වන්නට ඇති. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව මේ කුමාරවරුන් තිදෙනා කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදා ගෙන පාලනය කර ඇත්තේ පහත ආකාරයටයි. 
  • බුවනෙකබාහු (VII බුවනෙකබාහු නමින්) (1521-1550) - කෝට්ටේ
  • පරරාජසිංහ (රයිගම් බණ්ඩාර නමින්) (1521-1538) - රයිගම
  • මායාදුන්නේ (1521-1581) - සීතාවක
විජයබා කොල්ලය නිසා සිංහල රාජධානියේ බලය දුර්වල වීම, පෘතුගීසීන්ට තම බලය කොළඹින් පිටතට ව්‍යාප්ත කර ගැනීමට පමණක් නොව රජ පවුලේ සාමාජිකයන් බිලී බා ගැනීමටත් අවස්ථාවක් විවර කර දුන්නා. එකම එක රජ කෙනකු යටතේ පමණක් රාජධානියක්ව පැවති රයිගම, රයිගම් බණ්ඩාරගේ මරණයෙන් පසු මායාදුන්නේ විසින් සිතාවකට ඈඳා ගනු ලැබූ අතර ඒ සමග සිය කෝට්ටේ රාජධානිය ආරක්ෂා කර ගැනීමේ අදිටනින් VII බුවනෙකබාහු රජතුමා පෘතුගීසීන්ට පක්ෂ ප්‍රතිපත්තියක් වෙත යොමු වුණා. ඔහුගේ මරණින් පසු කෝට්ටේ රාජධානියේ රූකඩ පාලකයා බවට පත් කරනු ලැබූ ඔහුගේ මුණුබුරා ලද්දේ අදටත් අප රටේ රූකඩ දේශපාලනඥයින් හැඳින්වීමට භාවිතා වන දොන් ජුවන් ධර්මපාල නාමයයි.

මෙසේ කෝට්ටේ පෘතුගීසි රූකඩ රාජ්‍යයක් බවට පත් වීම මගින් මේ ප්‍රදේශ වල සිටි සිංහල ජනතාව සිය රජු ලෙස නිරාය‍ාසයෙන්ම යොමු වුණේ මායාදුන්නේ රජතුමන් වෙතටයි. එම ජනතා සහයෝගයෙන් ශක්තිමත් වූ සීතාවක රජ කළ මායාදුන්නේ රජතුමා මෙන්ම ඔහුගේ පුත් ටිකිරි කුමරු හෙවත් I රාජසිංහ රජතුමාද පෘතුගීසීන් කෙරෙහි දැඩි විරුද්ධවාදී පිළිවෙතක් අනුගමනය කළ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. විශේෂයෙන් පෘතුගීසීන් 1562දී සීතාවක ආක්‍රමණය කළ අවස්ථාවේ කෝට්ටේ-සීතාවක මායිමේ පිහිටි මුල්ල‍ේරියාවේදී අන්ත පරාජයකට පත් කරන ලද්දේ ටිකිරි කුමරු විසින්. එමෙන්ම ටිකිරි කුමරු සේනා රැගෙන දෙවරක්ම කොළඹ නගරය ආක්‍රමණය කළ බවත් ඒ අවස්ථා වලදී පෘතුගීසීන් කොළඹ කොටුවේ ආරක්ෂාවට ඉදි කර තිබූ බේරේ වැවේ ගේට්ටු විවෘත කර ජලය බැස යාමට සැලැස්වූ බවත් ඉතිහාසයේ සඳහන්.
ටිකිරි කුමරුගේ ප්‍රතිමාව... (ගත්තෙ මෙතනින්)
කෝට්ටේ හා සීතාවකට පසු එළඹි සෙංකඩගල රාජධානි යුගය තවත් රසබර කතා වලින් පිරුණු එකක් වුවත් මේ ලිපි මාලාව කොළඹ ගැන කතා කරන එකක් බැවින් සෙංකඩගල කතා පසුවට තබන්නම්.

Wednesday, July 9, 2014

කොළොම්තොට - 2 - ඉතිහාසයේ බල අරගල මැදින්

මෙහි මුල් කොටස මෙතනින් බලන්න.

1505දී ලංකාවට පැමිණි පෘතුගීසීන් එවකට කෝට්ටේ පාලකයා වූ VIII පරාක්‍රමබාහු රජු වෙතින් කොළඹ නගරයේ පාලන බලය ලබා ගත්තේ ඒ වෙනුවෙන් කෝට්ටේ රාජධානියේ මුහුදු සීමාව ආරක්ෂා කර දෙන බවට පොරොන්දු වෙමින්. කෙසේ වෙතත් ඉන්දියන් සාගරයේ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා කොළඹ නගරයේ බලය රැකගැනීම අතිශයින් වැදගත් වන බව වටහා ගත් ඔවුන් ඒ සඳහා කොළඹ කොටුව ඉදිකිරීම 1517දී ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කොළඹ කොටුව ගොඩබිමින් ආරක්ෂා කර ගැනීම සඳහා 1554දී ඔවුන් විසින් වේල්ලක් ඉදි කර ඇති අතර (අදටත් වේල්ල වීදිය නමින් හැඳින්වෙන පාරක් කොළඹ තියෙනවා දන්නවද?) ඒ අනුව ඒ කාලයේ කොළඹ කොටුවෙන් පිටත ප්‍රදේශය වගුරු බිමක ස්වභාවයෙන් පැවතුණා වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මෙම වේල්ල ඉදි කිරීම හරහා බේරේ වැවට හා ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතියට මුල් පදනම වැටුණා විය හැකියි.
කොළඹ ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි බේරේ වැව (ගත්තෙ මෙතනින්)
බේරේ වැව හා කොළඹ ඇළ මාර්ග පද්ධතිය ගැන නම් වෙනමම ලිපියක් ලියන්නට සිදු වෙනවා. කොහොම වුණත් සීතාවක රජ කළ මායාදුන්නේ රජු හා එතුමන්ගේ පුත් I රාජසිංහ රජු (ටිකිරි කුමරු) දැඩි ලෙස පෘතුගීසීන්ට විරුද්ධව කටයුතු කළ බවත් එම කාලයන්හිදී සිංහල හමුදාවන් කිහිප වරක්ම කොළඹ නගරය ආක්‍රමණය කළ බවත් ඉතිහාසයේ දැක්වෙනවා.

අනතුරුව 1656දී කොළඹ නගරය ලන්දේසීන් අතට පත්වන්නේ ඔවුන් හා එවකට මහනුවර රජ කළ II රාජසිංහ රජු අතර ඇති වූ සුප්‍රකට "ඉඟුරු දී මිරිස් ගත්" ආකාරයේ ගිවිසුම හේතුවෙනුයි. 1796දී බ්‍රිතාන්‍යයන් පැමිණෙන තුරුම ඔවුන් අත්පත් කරගත් ප්‍රදේශ ගිවිසුමට අනුව මහනුවර රාජධානියට බාර නොදී තමන් සන්තකයේම තබාගත්තා. ලන්දේසීන් හා කොළඹ සම්බන්ධ කෙරෙන ස්ථාන කිහිපයක්ම අදටත් ඉතිරිව පවතින අතර ඒ අතරින් කොළඹ කොටුවේ ලන්දේසි රෝහල (Dutch Hospital) මේ වන විට වෙළෙඳ සංකීර්ණයක් බවට පරිවර්තනය කර තිබෙන්නේ එහි ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණ ඉතිරි කරමින්.
ලන්දේසි රෝහලේ අද පෙනුම (ගත්තෙ මෙතනින්)
පෘතුගීසීන් හා ලන්දේසීන් යන දෙකොටසම කොළඹ නගරය හමුදාමය බල කඳවුරක් ලෙසින් පවත්වාගෙන ගියා විනා ඉන් ඔබ්බට කොළඹ නගරය දියුණු කිරීමට කටයතු කළේ නැහැ. නමුත් ඉංග්‍රීසීන් 1796දී කොළඹ නගරයේද 1815දී මුළු රටේමද පාලන බලය අත්පත් කරගැනීමට සමත් වූ බැවින් කොළඹ නගරය සිය "බ්‍රිතාන්‍ය ලංකාවේ" අගනුවර ලෙස සංවර්ධනය කිරීමට ඔවුන් උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ගොඩනැගිලි, රාජ්‍ය ආයතන මෙන්ම මහාමාර්ග හා ප්‍රවාහන පහසුකම්ද කොළඹ නගරය තුළ ඇති කිරීමට ඔවුන් පියවර ගත්තා. එපමණක් නොව බ්‍රිතාන්‍යයන් විසින් සිය පරිපාලන ක්‍රමයන්ද මෙරට ස්ථාපිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ මහනගර සභාව බිහි වන්නේ 1865 තරම් ඈත අතීතයේදී.

නිදහසින් පසු කාලය තුළ කොළඹ නගරය අති දැවැන්ත ලෙස වෙනස් වීමකට ලක් වුණත් ඉන් සැලකිය යුතු කොටසක් අවිධිමත් ආකාරයට සිදු වීමේ පල-විපාක අපි දැන් අත්දකිමින් ඉන්නවා. කොහොම වුණත් වසර 500කට ආසන්න කාලයක් පැවති යුරෝපීය ආභාසය නගරයේ ගොඩනැගිලි හා ස්ථාන නාම වලින් පමණක් නොව නගර වැසියන්ගේ ආහාර-පාන, ඇඳුම්-පැළඳුම් හා සිරිත්-විරිත් වලින් සමන්විත ජීවන රටාව තුළත් තවමත් දැකගත හැකියි. එමෙන්ම අසූව දශකයේදී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹින් ශ්‍රී ජයවර්ධනපුරයට රැගෙන ගියත් තවමත් ආර්ථික මෙන්ම සමාජීය වශයෙනුත් ශ්‍රී ලංකාවේ නිල නොවන අගනුවර නම් කොළඹම තමයි.

Tuesday, July 1, 2014

කොළොම්තොට - 1 - හැඳින්වීමක්

අද ඉඳන් මම අලුත් ලිපි මාලාවක් පටන් ගන්න යන්නෙ. මේකෙදි කරන්න අදහස් කරන්නෙ කොළඹ ගැන රසවත් විස්තර හොයාගෙන යන එක. කොළඹ ඉතිහාසය ගැන, ඒ කාලෙ ඉඳන් අද දක්වා කොළඹ වෙනස් වුණ හැටි ගැන, කොළඹ තියෙන වැදගත් ස්ථාන හා ස්වාභාවික පිහිටීම් ගැන, මේ කාලෙ කොළඹ වෙමින් පවතින හා නුදුරු අනාගතයේදී වෙන්න නියමිත දේවල් ගැන, ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් කොළඹ ඉතිහාසය ගැන කෙටි විස්තරයකින්ම පටන් ගන්නම්.
ලන්දේසි කාලයේ කොළඹ වරාය (ගත්තෙ මෙතනින්)
කොළඹ නගරය පිහිටල තියෙන්නෙ ලංකාවේ පුරාණ රාජධානි දෙකක් වෙච්ච කෝට්ටේ සහ කැලණිය යන නගර වලට ඉතාම කිට්ටුවෙන් (කැලණිය අර සුප්‍රසිද්ධ අ-පො-ද-යා-කු-ග-කෝ වලින් එකක් ‍නොවුණට විහාර මහා දේවියගෙ පියා වෙච්ච කැලණිතිස්ස රජතුමා කැලණියේ රජකම් කළ බව අපි අහල තියෙනවනෙ). ඒ වුණත් කොළඹ කියන්නෙ ඓතිහාසිකව රාජධානියකට වඩා ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රධාන වුණු නගරයක්. මේකට ප්‍රධාන හේතු දෙකක් බලපාල තියෙනව.
  1. කැලණි ගඟ ආශ්‍රිතව පිහිටීම (ලෝකයේ ප්‍රධාන නගර ගණනාවක් ගංගා නිම්න හා මෝයවල් ආශ්‍රිතව තමයි ඇති වෙලා තියෙන්නෙ)
  2. වෙරළබඩ නගරයක් වීම නිසා අන්තර්ජාතික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් වීම (ඓතිහාසිකව වැදගත් වූ වෙළෙඳ මාර්ගයක් වන සේද මාවතේ කොළඹ පිහිටීම ගැන විස්තර පසුවට)
කොළඹට ඒ නම හැදුණු හැටි ගැන මත කීපයක් තියෙනව. එයින් ප්‍රධාන මතයන් දෙකක් මේ විදියට ඉදිරිපත් කරන්න පුළුවන්.
  1. කැලණි ග‍ඟ මුහුදට වැටෙන ස්ථානය නිසා කැලණි+තොට = කොළොන්තොට = කොළොම්තොට = කොළඹ
  2. කොළ පැහැති අඹ ගස් සහිත වරායක් (තොටක්) වීම නිසා කොළ + අඹ + තොට = කොළඹ තොට = කොළඹ
මෙයින් පළමු මතය වඩා පිළිගත හැකි සේ පෙණුනත් දෙවන මතය වෙනුවෙන් ඇති ප්‍රබල සාධකයක් තමයි මේ පහළ තියෙන සලකුණ.
ලන්දේසි පාලන සමයේ ඔවුන් කොළඹ සඳහා භාවිතා කළ සංකේතය (ගත්තෙ මෙතනින්)
ලංකාවට පැමිණි විදේශීය පාලකයින් කොළඹ ඔවුන්ගෙ පරිපාලන මධ්‍යස්ථානය කරගැනීමත් එක්ක තමයි කොළඹ නගරය විශාල වෙනසකට ලක්වෙන්න පටන් අරන් තියෙන්නෙ. ඒත් ඊට කලින් ලංකාවට පැමණි ඉබන් බතූතා වගේ දේශාටකයිනුත් කොළඹ ඒ කාලයේ ලෝකයේ පැවති ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථානයක් බව වාර්තා කරල තියෙනව. ඇතැම් විට විදේශීය ජාතීන්ගේ අවධානය අපේ රටට යොමු වෙන්නත් යුරෝපීය ජාතීන් තුනක්ම අපේ රටේ පාලනය උදෙසා යුද වැදෙමින් වරින් වර අපේ රට අත්පත් කරගන්නත් කොළඹ නගරයේ වැදගත්කම ප්‍රබල හේතුවක් වන්නට ඇති.

කොළඹ ගැන කතා කිරීමේදී අත් හරින්නටම බැරි පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි පාලකයන් හා කොළඹ-කෝට්ටේ-සීතාවක යන බල කේන්ද්‍රයන් හා සබැඳි ඉතිහාසය මීළඟ ලිපියෙන් කෙටියෙන් ගෙන එන්නම්.