Sunday, July 13, 2014

කොළොම්තොට - 3 - කොළඹ-කෝට්ටේ-සීතාවක

කියෙව්වෙ නැත්නම් පළමු හා දෙවන කොටස් කියවලම එන්නකො.

කොළඹ ඉතිහාසය ගැන ලිපි දෙකක්ම ලිව්වත් කොළඹ ගැන කතා කරද්දි අත හැරල දාන්නම බැරි අතුරු කතා කීපයක් තියෙනව. ඒ එකිනෙකට කිට්ටු බල කේන්ද්‍රයන් තුනක් වූ කොළඹ-කෝට්ටේ-සීතාවක සම්බන්ධයෙන්. ඉතින් මේ සූදානම ඒ ගැනත් කෙටියෙන් කියල දාන්න.

ලංකාව එක්සේසත් කළ අවසන් රජතුමා ලෙස සැලකෙන්නෙ කෝට්ටේ රාජධානියේ රජ කළ VI පරාක්‍රමබාහු රජතුමායි (1415-1467). මේ කතාව පොඩි කාල‍ෙ ඇහුවම මම කල්පනා කළේ ඊට පස්සෙ කාටවත් ඒක කරන්න බැරි වුණ හේතුව මොකක්ද කියල. ඒත් 1505දී පෘතුගීසීන්ගේ පැමිණීමත් ඊට පස්සෙ ක්‍රමයෙන් සිංහල රාජධානියේ ඇති වූ දුර්වලතා සිය වාසියට හරවා ගනිමින් පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි කියන ජාතීන් තුනක් අවුරුදු 443ක් තරම් දිගු කාලයක් අපේ රට යටත් කරගෙන සිටීමත් කියන කාරණා සලකා බැලුවම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. VI පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව කෝට්ටේ රජකමට පත් වූ රජවරුන් පහත පරිදි දැක්විය හැකියි.
  • VI බුවනෙකබාහු (සපුමල් කුමරු) (1467-1474)
  • VII (පණ්ඩිත) පරාක්‍රමබාහු (1474-1485)
  • VIII (වීර) පරාක්‍රමබාහු (1485-1508)
  • IX (ධර්ම) පරාක්‍රමබාහු (1508-1519)
  • VI විජයබාහු (1519-1521)
මේ කාල වකවානු ගැන විවිධ පරස්පර අදහස් තියෙනවා. කොහොම වුණත් මේ කාලයේ රජ පවුලට විවිධාකාරයෙන් සම්බන්ධකම් තිබූ කුමාරවරුන් අතර ඇති වූ නිරන්තර බල අරගල නිසා එකකු මරා තවෙකකු බලයට පත් වූ වාර බොහොමයි. පෘතුගීසීන් මෙරටට පය තබන්නට පෙර සිටම එවැනි තත්ත්වයක් තිබී ඇති අතර පෘතුගීසීන් ඇතුළු සියලු ආක්‍රමණිකයන් එය තමන්ගේ වාසියට ඉතාම සාර්ථකව යොදාගෙන තිබෙනවා. ඉන්දීය හෝ වෙනත් කලාපීය ජාතීන් මෙන් නොව මෙරට සංස්කෘතියට ආගමට භාෂාවට ජීවන ක්‍රමයට සෑම අතින්ම වෙනස් පසුබිමක් ඇති බටහිර ජාතීන් සියවස් පහකට ආසන්න කාලයක් අපේ රට පාලනය කිරීමට සමත් වුණේ ඔවුන්ගේම දක්ෂතාවයකට පමණක් නොවන බවයි මට නම් සිතෙන්නේ.
කෝට්ටේ නටබුන්... (ගත්තෙ මෙතනින්)
බටහිර ජාතීන්ට නතු වීමෙන් අනතුරුව අවස්ථා ගණනාවකදී රජ පවුල ඇතුළතින් මතු වූ සාධක නිසා සිංහල රාජධානියේ ක්‍රමික බිඳවැටීම් සිදු වූවත් එය සනිටුහන් කරන පළමු අවස්ථාව වන්නේ 1521දී සිදු වූ "විජයබා කොල්ලය"යි. එය සිදු වුණේ මේ ආකාරයෙන්.

1521 වන විට රජ කරමින් සිටි VI විජයබාහු රජතුමාට පළමු බිරිඳගෙන් පුතුන් තිදෙනෙක් සිටියා. ඒ බුවනෙකබාහු, පරරාජසිංහ හා මායාදුන්නේ යනුවෙන්. ඔවුන්ට අමතරව දෙවන බිරිඳගෙන් ලැබුණු පුතා වූ දේවරාජ කුමාරයාට රජකම ලබා දීමට සිය පියා තීරණය කර ඇති බව ආරංචි වූ වැඩිමහල් පුතුන් තිදෙනා, කුලියට ගත් විදේශිකයකු ලව‍ා සිය පියා මැරවූ බවයි සඳහන් වන්නේ. ඒ වන විට පෘතුගීසීන් මෙරට සිටි බැවින් මේ කුමන්ත්‍රණය සඳහා ඔවුන් සහය වන්නට ඇති. ඇතැම් විට පෙර කී විදේශිකයාද පෘතුගීසි ජාතිකයකු වන්නට ඇති. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව මේ කුමාරවරුන් තිදෙනා කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදා ගෙන පාලනය කර ඇත්තේ පහත ආකාරයටයි. 
  • බුවනෙකබාහු (VII බුවනෙකබාහු නමින්) (1521-1550) - කෝට්ටේ
  • පරරාජසිංහ (රයිගම් බණ්ඩාර නමින්) (1521-1538) - රයිගම
  • මායාදුන්නේ (1521-1581) - සීතාවක
විජයබා කොල්ලය නිසා සිංහල රාජධානියේ බලය දුර්වල වීම, පෘතුගීසීන්ට තම බලය කොළඹින් පිටතට ව්‍යාප්ත කර ගැනීමට පමණක් නොව රජ පවුලේ සාමාජිකයන් බිලී බා ගැනීමටත් අවස්ථාවක් විවර කර දුන්නා. එකම එක රජ කෙනකු යටතේ පමණක් රාජධානියක්ව පැවති රයිගම, රයිගම් බණ්ඩාරගේ මරණයෙන් පසු මායාදුන්නේ විසින් සිතාවකට ඈඳා ගනු ලැබූ අතර ඒ සමග සිය කෝට්ටේ රාජධානිය ආරක්ෂා කර ගැනීමේ අදිටනින් VII බුවනෙකබාහු රජතුමා පෘතුගීසීන්ට පක්ෂ ප්‍රතිපත්තියක් වෙත යොමු වුණා. ඔහුගේ මරණින් පසු කෝට්ටේ රාජධානියේ රූකඩ පාලකයා බවට පත් කරනු ලැබූ ඔහුගේ මුණුබුරා ලද්දේ අදටත් අප රටේ රූකඩ දේශපාලනඥයින් හැඳින්වීමට භාවිතා වන දොන් ජුවන් ධර්මපාල නාමයයි.

මෙසේ කෝට්ටේ පෘතුගීසි රූකඩ රාජ්‍යයක් බවට පත් වීම මගින් මේ ප්‍රදේශ වල සිටි සිංහල ජනතාව සිය රජු ලෙස නිරාය‍ාසයෙන්ම යොමු වුණේ මායාදුන්නේ රජතුමන් වෙතටයි. එම ජනතා සහයෝගයෙන් ශක්තිමත් වූ සීතාවක රජ කළ මායාදුන්නේ රජතුමා මෙන්ම ඔහුගේ පුත් ටිකිරි කුමරු හෙවත් I රාජසිංහ රජතුමාද පෘතුගීසීන් කෙරෙහි දැඩි විරුද්ධවාදී පිළිවෙතක් අනුගමනය කළ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. විශේෂයෙන් පෘතුගීසීන් 1562දී සීතාවක ආක්‍රමණය කළ අවස්ථාවේ කෝට්ටේ-සීතාවක මායිමේ පිහිටි මුල්ල‍ේරියාවේදී අන්ත පරාජයකට පත් කරන ලද්දේ ටිකිරි කුමරු විසින්. එමෙන්ම ටිකිරි කුමරු සේනා රැගෙන දෙවරක්ම කොළඹ නගරය ආක්‍රමණය කළ බවත් ඒ අවස්ථා වලදී පෘතුගීසීන් කොළඹ කොටුවේ ආරක්ෂාවට ඉදි කර තිබූ බේරේ වැවේ ගේට්ටු විවෘත කර ජලය බැස යාමට සැලැස්වූ බවත් ඉතිහාසයේ සඳහන්.
ටිකිරි කුමරුගේ ප්‍රතිමාව... (ගත්තෙ මෙතනින්)
කෝට්ටේ හා සීතාවකට පසු එළඹි සෙංකඩගල රාජධානි යුගය තවත් රසබර කතා වලින් පිරුණු එකක් වුවත් මේ ලිපි මාලාව කොළඹ ගැන කතා කරන එකක් බැවින් සෙංකඩගල කතා පසුවට තබන්නම්.

4 comments:

  1. ඇත්ත, විදේශිකයො ඔය තරම් දේවල් කලේ උන්ගෙ දක්ෂකම නිසාම නෙමේ. අපෙ දුර්වලකම් නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒත් අපි තාමත් උන් ඒ කාලෙ අපේ රට විනාශ කළා කියල බනිනව විතරක් නෙවෙයි තාමත් විදේශ කුමන්ත්‍රණ කිය කියා කෑ ගගහා ඉන්නවා. අපි ටිකෙන් ටික වලටම යනවා.

      Delete
  2. පට්ට...
    ඉත්රු ටිකත් දාන්න..
    සවිස්තර සහිතව හා අතුරු කතා එක්ක දැම්ම කියල අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. ගොඩක් දික් වෙන නිසා තමයි මෙච්චර කොටස් වලට කැඩුවෙ.
      මේ ලිපි පෙළට කොළඹ ඉතිහාසය ගැනත් කියවෙන්නම එපැයි. ඒ නිසා අතුරු කතා දාන්නම වෙනව. ඒව නැතුව ඉතිහාසය සම්පූර්ණ වෙන්නෙ නෑනෙ.

      Delete