Friday, January 15, 2016

කොළොම්තොට - 4 - පාරු පා‍ලමෙන් කොළඹට

1, 2, 3 කොටස් ලියල ගොඩ කාලෙකින් තමයි මේ හතර වෙනි කොටස ලියන්න ගත්තෙ. ඉතින් ඒ කොටස් තුන නොකියවපු අයත් කියවපු නමුත් අලුතින් මතක් කරගන්න කැමති අයත් ඉස්සෙල්ල ඒ ටික කියවල එන්නකො.




අද කොළඹ ගැන කියන්න මාතෘකා කර ගත්තෙ මීට කාලෙකට කලින් ජනප්‍රිය වෙච්ච සිංදුවක්. ඒකෙ පද පේළිය බැලුවම පාරු පාලම, ගෑස්පහ, සෙක්කු වීදිය, කයිමන් දොරකඩ, බේරේ වැව, ශාන්ත බස්තියන් ඇළ, මහ මංකඩ, මේ වගේ කොළඹ ලෑන්ඩ්මාක්ස් කීපයක් ගැනම කියවෙනව.

කොළඹට උතුරු පැත්තෙ ඉඳන් එන කෙනෙක් නගරයට ඇතුල් වෙන්න නම් කැලණි ගඟ තරණය කරන්න ඕනි. අදටත් ඒ පැත්තෙ පාරවල් වල උදේටයි හවසටයි ලොකු ට්‍රැෆික් එකක් තියෙන්නෙ කැලණි ගඟ හරහා තියෙන පාලම් ගාන ප්‍රමාණවත් නැති නිසා. ඇයි ඉතින් කැලණි ගඟ හරහා නගරය ආශ්‍රිතව තියෙන්නෙ මට්ටක්කුලිය පාලමයි, කලින් වික්ටෝරියා පාලම කියල හඳුන්වපු ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව පාලමයි, නව කැලණි පාලමයි විතරයිනෙ. තව ටිකක් හරි කොළඹට කිට්ටු පාලම් තියෙන්නෙ කැලණිසිරි පාලමයි, කඩුවෙල හයිවේ එකත් එක්ක අලුතින් හදපු පාලමයි, කඩුවෙල පරණ පාලමයි.

මේ කතා ටික කිව්වෙ පාරු පාලම ගැන කියන්න. අර මම කියපු ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව පාලම හදල තියෙන තැන කලින් තිබ්බෙ වික්ටෝරියා පාලම කියලා යකඩ පාලමක්. ඊටත් කලින් එතන තිබිල තියෙන්නෙ බෝට්ටු ගණනාවක් එක ළඟ තියල ඒවට උඩින් හදපු ලී පාලමක් (Bridge of Boats කියල හඳුන්වපු). අර සිංදුවෙ තියෙන විදියටම මිනිස්සු විතරක් නෙවෙයි ගැල් පේළිත් මේ පාලම උඩින් ගිහින් තියෙනව.
කොළඹ පාරු පාලම... (ගත්තේ මෙතනින්)
මෙතනින් කොළඹට ඇතුල් වුණ ගැල් පේළිය ගෑස්පහට ආව කියලනෙ කියන්නෙ. අදටත් කැලණි පාලමෙන් කොළඹට ඇතුල් වෙලා කෙළින් පාරේ එන බස් එකක පිටකොටුවට එන කෙනෙක් ගෑස්පහ හරහා තමයි එන්න ඕනි. මෙතන මේ කෙළින් පාර කියන්නෙ කැලණිතිස්ස හන්දියෙන් ඉඟුරුකඩේ හන්දියට දාලා ස්ටේඩියම් එක පහු කර ගෙන ආමර් වීදිය හරහා එන එක කියලත් එහෙම නැතුව බේස්ලයින් එක දිගේ ගිහින් මාළිගාවත්තෙන් හරවල මරදාන හරහා එන පාරට කියන්නෙ මාළිගාවත්ත පාර කියලත් දන්නව ඇතිනෙ.

ගෑස්පහ තමයි ඒ කාලේ කොළඹට ගෑස් සපයපු සමාගම (Gasworks Company) තිබිල තියෙන්නෙ. ඒ කාලෙ වීදි පහන් පත්තු කරල තියෙන්නෙ ගෑස් වලින්. ඒ විතරක් නෙවෙයි නගරයෙ ගෙවල් වලට ගෑස් සැපයුම් පවා තිබිල තියෙනව පයිප්ප හරහා. මේ ළඟදි කොළඹ පාරක අලුුතින් බෝක්කුවක් ඉදි කරන්න හාරන කොට ජල සම්පාදන මණ්ඩලයවත් විදුලිබල මණ්ඩලයවත් වෙන කිසිම ආයතනයක්වත් අඳුනගත්තෙ නැති පයිප්පයක් හම්බ වුනා. බලන කොට ඒක ඒ කාලෙ තිබිල අභාවයට ගිය ගෑස් පයිප්පයක්. මට මතකයි මෑතක් වෙනකම්ම ගුණසිංහපුරේ ඉඳන් බැස්ටියන් මාවත බස් ස්ටෑන්ඩ් එක පැත්තට එන පාරෙ තාප්පෙක ඔය සමාගමේ නම ගහල තිබුණ. තාම තියෙනවද දන්නෑ.

සෙක්කු වීදිය ගැන නම් ලොකු විස්තරයක් හොයා ගන්න බැරි වුනා. ඒකට දැන් කියන්නෙ ශ්‍රී කදිරේසන් වීදිය කියල. ගූගල් මැප් එකේ බැලුවොතින් පේනව ඒ පාරත් ගෑස්පහ හන්දියට සම්බන්ධ වෙන පාරක් කියල. ඉතින් කොළඹට එන අය සමහර විට ඒ පාරෙ යනව ඇති රෙදිපිළි එහෙම ගන්න. සෙක්කු වීදියේ කම්බා ගැනනෙ කියන්නෙත්.

කයිමන් දොරකඩ වැදගත් වෙන්නෙ පෘතුගීසි කාලෙ පරිපාලන හා ආරක්ෂක වශයෙන් මූලස්ථානය වෙච්ච කොටුව හා ඊට පිටතින් තිබුන ආර්ථික මධ්‍යස්ථානය වෙච්ච පිටකොටුව සම්බන්ධ කරපු එකම දොරටුව හැටියට. මේ කොටුව හා පිටකොටුව වෙන් වුනේ ඇළකින් කියල කියනවා. ඒ ඇළ හඳුන්වල තියෙන්නෙ ශාන්ත ජෝන් ඇළ කියල. මේ ඇළ බේරේ වැවයි කොළඹ වරායයි සම්බන්ධ කරපු ඇළක්. පසු කාලීනව ඇළ වහල ඒක පාරක් බවට පත් කරල තියෙනව ඉංග්‍රීසීන් විසින්. අද ශාන්ත ජෝන් වීදිය කියල හඳුන්වන්නෙ ඒ විදියට හදපු පාරෙ එක කොටසක්. අද පිටකොටුවෙ තියෙන‍ හරස් වීදි එකක් හෝ කීපයක් සමහර විට එදා තිබුන ඇළ පුරවල හදපුවා වෙන්න ඇති. ඉතින් මේ ඇළ මතින් දාපු පාලමක් මතින් තමයි කයිමන් දොරකඩට ඇතුල් වෙන්න තිබිල තියෙන්නෙ.

අද කයිමන් දොරකඩ ඉතුරු වෙලා තියෙන්නෙ ඝණ්ඨාර කුළුණක් විතරයි. ඒක ඒ කාලෙ මෙතනින් ඇතුල් වෙන්න ආපු අය විසින් නාද කළ යුතුව තිබුන එකක් බවටත් ආරක්ෂාව සඳහා හදිසි අවස්ථාවකදී නාද කරන්න තිබුන එකක් බවටත් විශේෂ අවස්ථා වලදී නාද කරපු එකක් බවටත් විවිධ මත තියෙනව. කොහොම වුනත් මේකට කයිමන් කියන නම ලැබිල තියෙන්නෙ ලන්දේසි කාලෙ. ඔවුන්ගෙ බසින් කයිමන් කියන්නෙ කිඹුලන්ට. මේ ඇළේ ඒ කාලෙ කිඹුලො ගැවසුන නිසා ඒ නම දැම්ම කියල තමයි කියන්නෙ.
කයිමන් දොරකඩ ඉතිරිව ඇති ඝණ්ඨාර කුළුණ... (ගත්තෙ මෙතනින්)
එහෙනම් සිංදුවෙ හැටියට ඉතුරු තැන් ටික වන බේරේ වැව, ශාන්ත බස්තියන් ඇළ හා මහ මංකඩ ගැන ඊළඟ ලිපියෙන්...